චල අන්වීක්ෂය(Travelling Microscope)



                     චල අන්වීක්ෂය(Travelling Microscope)                
               
                                  කේශික නලයක විශ්කම්භය මැනීම සදහා සර්පණ කැලිපරයක් භාවිතා කල නොහැක. ඊට හේතුව වන්නේ කැලිපරයේ ඇතුළු හනු කේශික නලය තුලට ඇතුළු කළ නොහැකි වීමයි. මීට අමතරව රබර් නලයක බාහිර විශ්කම්භය මැනීමටද සර්පණ කැලිපරය භාවිතා කළ නොහැක. එහිදී කැලිපරයේ හනු වලට තදවීම නිසා රබර් නලයේ හැඩය වෙනස් වී ලැබෙන පාඨාංක දෝෂ සහිත වේ. මෙවැනි මිනුම් වඩා නිවැරදිවත් වඩා පහසුවටත් ලබා ගැනීම සදහා චල අන්වීක්ෂයක් භාවිතා කළ හැකිය. මීට අමතරව පරීක්ෂණ වලදී දිග ප්‍රමාණ ඉතාමත් නිවැරදිව මැන ගැනීමට චල අන්වීක්ෂය බහුල ලෙස භාවිතා කෙරේ.


චල අන්වීක්ෂයක ප්‍රධානතම අංගය වන්නේ එහි අන්වීක්ෂයයි. අන්වීක්ෂය නිවැරදි ලෙස සීරුමාරු කරගත් විට මිනුම ලබා ගන්නා කොටස එමගින් වඩා විශාල කර නැරඹිය හැක. පාඨාංකය නිවැරදි හා වඩා පහසුවෙන් ලබා ගැනීමට එය ප්‍රධාන හේතුවක් වේ. චල අන්වීක්ෂය තුලින් බැලූ විට 4.20 රූපයේ දැක්වෙන ලෙස එකිනෙකට ලම්බකව සකස් කර ඇති කම්බි දෙකක් දැකිය හැකිය. මේවා හරස් කම්බි (Cross wires) ලෙස හදුන්වනු ලබන අතර එය භාවිතා කිරීමෙන් මිනුම ලබා ගන්නා ස්ථානය වඩා නිවැරදිව දර්ශණ පථය තුල සකස් කරගත හැකිය.


අන්වීක්ෂයේ අක්ෂය තිරස් හෝ සිරස් වන පරිදි සකස් කර ගත හැකි වන අතරම අන්වීක්ෂය තිරස් ලෙස හා සිරස් ලෙස චලනය කල හැකිය. එබැවින් තිරස්ව හා සිරස්ව පවතින දිග සදහා මිනුම් ලබා ගැනීමට මෙම උපකරණය භාවිතා කල හැකිවේ. තිරස් ලෙස හෝ සිරස් ලෙස අන්වීක්ෂය චලනය කරනු ලබන දුර ප්‍රමාණ මැන ගැනීමට තිරස් හා සිරස් ලෙස සකස් කර ඇති ප්‍රධාන සහ වර්නියර් පරිමාණ යුගල් දෙකක් චල අන්වීක්ෂයේ අඩංගු වේ. සාමාන්‍ය චල අන්වීක්ෂයක ප්‍රධාන පරිමාණ දෙක අර්ධ මිලි මීටර් කොටස් වලින් ක්‍රමාංකනය කර ඇති අතර ප්‍රධාන පරිමාණයේ කොටස් 49 ක් සමාන කොටස් 50කට බෙදීමෙන් වර්නියර් පරිමාණ දෙක සකස් කර ඇත. ඒ අනුව උපකරණයේ කුඩාම මිනුම = 0.5-0.5 x 49/50
                                                            = 1/100 = 0.01mm
කුඩාම මිනුම කුඩාවීමද මිනුමක් වඩාත් නිවැරදිව මැන ගැනීම සදහා හේතුවේ. 
Powered By Tharindu Chathuranga Engineering Student
 Ambagasdowa janadipathi Vidyalaya (www.presidentcollegeamb.com)