මෝටර් රථවල සිසිලන පද්ධතිය(02 කොටස)




සිසිලන පද්ධතිය(02 කොටස)
සිසිලන ක්‍රම
මොටර් රථ සදහා භාවිතා කරන සිසිලන ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්,
01. වාත සිසිලන ක්‍රමය
02. අනියම් වාත සිසිලනය / ජල සිසිලනය
මෙහිදී අනියම් වාත සිසිලන ක්‍රමය ක්‍රම දෙකකට බෙදා වෙන් කෙරේ.
01. තාප නිනාල සංසරණ ක්‍රමය
02. කෘත පෝෂණ සංසරණ ක්‍රමය

වාත සිසිලන ක්‍රමය
මෙම ක්‍රමය බහුල ලෙස යොදා ඇත්තේ මෝටර් සයිකල්වලයි. එසේම, සමහර මෝටර රථ වලද භාවිතා කර ඇත. මෙහි දී එන්ජින් සිලින්ඩරය නිරතුරුව පිටත වාතය සමග ගැටීමට සළස්වා ඇත. මේ නිසා තාපය වැඩි ප්‍රදේශයක විසිරීමට හැකිවන ලෙස සිලින්ඩරයේ පිටත පෘෂ්ටයේ වර්ගඵලයේ වැඩි කර ඇත. මෙසේ කර ඇත්තේ වරල් යෙදීමෙනි. මේ නිසා වාතය ද හොදින් ලෝහ සමග ස්පර්ශ වී ගමන් කරයි. 01 රූප සටහනෙන් මෙම ක්‍රමය
සහිත එන්ජිමක සිලින්ඩරයක් පෙන්වා ඇත.
Image

නමුත්, මෝටර් රථවල එන්ජිමක් පිටත වාතය සමග නිරතුරුව ගැටීමට සැළැස්විය නොහැකිය. මේ නිසා ඒ සදහා වෙනම පංකාවක් යොදා ඇත. මෙම පංකාව අධික ශබ්දයෙන් යුක්තය. එසේම, මෙය ක්‍රියාකරවීමට අතිරේක බලයක් ද අවශ්‍ය වේ. මෙහි ඇති එක් අවාසියක් නම් මෙයයි. නමුත් මෝටර් රථ සදහා බහුල ලෙස යොදා ඇත්තේ අනියම් වාත සිසිලනයයි.
තාප නිනාල සංසරණ ක්‍රමය
මෙම ක්‍රමයේ දී ජල කුහරවල ඇති ජලය රත් වේ. ඒ නිසා ජලයේ ඝනත්වය අඩු වී සැහැල්ලුවීම නිසා ඒවා ඒවා ඉහලට පැමිණේ. එම අඩුව පිරවීම සදහා රේඩියේටරයේ පහළ ටැංකියේ ඇති සිසිල් ජලය එන්ජිමට ගමන් කරයි.
                                 මේ අනුව, නොකඩවා රත්වන ජලය සැහැල්ලු වී රේඩියේටරයේ ඉහළ ටැංකියට පැමිණේ. මේ නිසා එම ජලය රේඩියේටරය හරහා ගමන් කිරීමේ දී එම මාධ්‍ය හරහා ගලා යන යන වාතය සමග ගැටී තාපය ඉවත් වේ. මේ අනුව, එන්ජිමේ ලෝහ කොටස්වල ඇති තාපය ජලය මගින් උරා ගෙන ඒවා රේඩියේටරය කරා ගෙන ඒම මෙම ක්‍රමයේ කාර්යයි. මෙය 02 රූප සටහනෙන් පෙන්වා ඇත.
මෙහි දී තාපය රේඩියේටරය කරා ගෙන ඒමට ප්‍රමාද වන බැවින් නවීන රථවල මෙම ක්‍රමය යොදා නැත. එහෙත් පැරණි එන්ජිම්වල යොදා තිබුණි. මෙම ක්‍රමයේදී ද එන්ජිම් තාපය ඉවත් කරනුයේ වාතය මගිනි. නමුත්, තාපය රේඩියේටරය  කරා ගෙන එන මාධ්‍යයක් ලෙස භාවිතා කර ඇත.
Image

කෘත පෝෂණ සංසරණ ක්‍රමය
මෙම ක්‍රමයේ දී ජලය නොකඩවා එන්ජිම හා රේඩියේටරය වටා සංසරණය වීමට පොම්පයක් යොදා ඇත. මේ නිසා එන්ජිමේ තාපය ඉක්මණින් ජලයට මුසු වී පැමීණීම නිසා එන්ජිමේ තාපය අඩු වේ. 03 වන රූප සටහනෙන් මෙම ක්‍රමයේ සංරචක හදුනා ගන්න. මෙම පොම්පය එන්ජිමේ දගර කද සම්බන්ධ පුලියක පංකා පටිය ආධාරයෙන් ක්‍රියා කරවයි.


පීඩන පියන(ප්‍රෙෂර් කැප්)
නවීන එන්ජිම්වල සිසිලන පද්ධතියට යොදා ඇති රේඩියේටරයේ කටට වෑල්ව දෙකක් සහිත පියනක් යොදා ඇත. මේ නිසා සිසිලන පද්ධතිය මුද්‍රා වී එහි තුළ පීඩනය වැඩි කරයි. මේ හේතුවෙන් එහි තාපාංකය ද ඉහළ නංවයි. මේ නිසා එන්ජිමක් වැඩි උෂ්ණත්වයක වැඩ කරන බැවින් කාර්යක්ෂමතාවය වැඩි වෙයි. එම පියනේ ඇති වෑල්ව දෙක මේ නමින් හදුන්වයි.
1.    පීඩන වෑල්වය
2.    රික්ත වෑල්වය

04වන රූප සටහනෙන් මෙම පීඩන පියනේ ස්වභාවය වටහා ගන්න. මෙම පීඩන වෑල්වය මගින් පද්ධතිය තුළ පීඩනය එක්තරා සීමාවකට පැමිණි පසු එය  විවර කර වැඩි පීඩනය මුදා හරී. එසේම, එන්ජිම නැවත සිසිල්වීමේ දී ඇතුළත පීඩනය අඩු වී රික්තකයක් ඇති වේ. මේ අවස්ථාවේ දී පිටතින් වාතය ඇතුළු වනුයේ රික්ත වෑල්වය හරහාය. නවීන රේඩියේටරවල මෙම පීඩන පියන බහුල ලෙස යොදා ඇත.

මෝටර් රථවල සිසිලන පද්ධතිය (01 කොටස)



සිසිලන පද්ධතිය(01 කොටස)
අභිමතාර්ථය
Ø එන්ජිමක් සිසිල් කිරීමේ අවශ්‍යතාවය, තාප සංක්‍රමණ ක්‍රම හා එන්ජිමක උෂ්ණත්වය පවත්වා ගැනීමේ වැදගත්කම යන කරුණු ගැන විස්තර කරයි.
Ø මෝටර් රථ එන්ජිම්වල භාවිතා කරන සිසිලන ක්‍රම නම් කර ඒවායේ කාර්යය හා නිර්මාණය විස්තර කරයි.
Ø පීඩන පියනේ හා මුද්‍රිත සිසිලන ක්‍රමයේ නිර්මාණය හා ක්‍රියාකාරිත්වය විස්තර කරයි.
Ø උෂ්ණත්ව දර්ශකවල හා අවාන් වර්ගවල නිර්මාණය හා ක්‍රියාකාරිත්වය විස්තර කරයි.
Ø ජලය මිදීම වැළැක්වීමට යොදන ක්‍රම හා ඊට හේතු පැහැදිලි කරයි.
Ø සිසිලන පද්ධතියේ අළුත්වැඩියාවන් සිදු කරයි.
මූලික න්‍යාය
එන්ජිමක බලය නිපදවනුයේ ඉන්ධන දහනය කිරීමෙනි. මෙසේ දහනයේ දී නිපදවන තාපයෙන් ප්‍රයෝජනවත් වැඩ සදහා භාවිතා වනුයේ 25% ක් පමණි. 35% ක් පිටාර වායුව සමග ද 5% ක් ඝර්ෂණය හේතුවෙන් ද ඉවත් වේ. 35% ක් පමණ සිසිලන පද්ධතිය මගින් ඉවත් කෙරේ. මෙසේ කරනුයේ ඉන්ධන දහනයේ දී එන්ජිමේ උෂ්ණත්වය පවත්වා ගැනීම සදහා ලෝහ කොටස් වලට උරා ගන්නා තාපය ඉවත් කිරීම සදහාය.මෙසේ තාපය ඉවත් නො කළහොත් එන්ජිමේ උෂ්ණත්වය ඉහළ යයි. එසේ ඉහළ යන විට ඝර්ෂණය වන කොටස් අතර තිබෙන තෙල් පටලය ඉවත් වී ඒවා ඝර්ෂණයවීමට පටන් ගනී. ඒ නිසා එන්ජිමට හානි පැමිණීමට ඉඩ ඇත.
 එසේම, ලෝහ කොටස්වල උෂ්ණත්වය වැඩිවීම නිසා පිස්ටන් වෑල්ව ආදිය ප්‍රසාරණය වී හිර වීම සිදු විය හැකිය. එසේම තෙල් පිළිස්සීමද අධික විය හැකිය. මේ නිසා එන්ජිමේ උපදින තාපයෙන් කොටසක් ඉවත් කිරීමට සිදුවේ. කෙසේ වෙතත් එන්ජිමේ තාපය අධික ලෙස ඉවත් කර ප්‍රමාණයට වඩා එන්ජිමේ උෂ්ණත්වය අඩු කිරීම ද එන්ජිමට හානිදායක ය. එසේ වුවහොත් පැට්‍රල් එන්ජිමක පැට්‍රල් හරියාකාර වාෂ්පවීමක් සිදු නොවේ. මේ නිසා එන්ජිමක තාපය කොටසක් පමණක් සිසිලන ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. එනම් එන්ජිමක් ක්‍රියා කිරීම සදහා එක්තරා උෂ්ණත්ව ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. මෙය ක්‍රියාකාරී උෂ්ණත්වය ලෙස හදුන්වයි.
තාප සංක්‍රමණ ක්‍රම  
01. සන්නයනය - Conduction
02. සංවහනය    - Convection
03. විකිරණය     - Radiation
මින් සන්නයනය යනු තාපය එක් කොටසක සිට එය සම්බන්ධ අනෙකුත් කොටස් වලට ගමන් කිරීමේ ක්‍රමයයි. එසේම, සංවහනය යනු එක් කොටසක තිබෙන තාපය වාතය මගින් ඉවත් කිරීමයි. මින් විකිරණය යනුවෙන් හදුන්වනුයේ එක් කොටසක පිහිටි තාපය පරාවර්තනය මගින් ඉවත් කිරීමේ ක්‍රමයයි. මින් 01 සහ 02 යන ක්‍රම මෝටර් රථ සදහා භාවිතා කරයි.