මෝටර් රථවල සිසිලන පද්ධතිය (01 කොටස)



සිසිලන පද්ධතිය(01 කොටස)
අභිමතාර්ථය
Ø එන්ජිමක් සිසිල් කිරීමේ අවශ්‍යතාවය, තාප සංක්‍රමණ ක්‍රම හා එන්ජිමක උෂ්ණත්වය පවත්වා ගැනීමේ වැදගත්කම යන කරුණු ගැන විස්තර කරයි.
Ø මෝටර් රථ එන්ජිම්වල භාවිතා කරන සිසිලන ක්‍රම නම් කර ඒවායේ කාර්යය හා නිර්මාණය විස්තර කරයි.
Ø පීඩන පියනේ හා මුද්‍රිත සිසිලන ක්‍රමයේ නිර්මාණය හා ක්‍රියාකාරිත්වය විස්තර කරයි.
Ø උෂ්ණත්ව දර්ශකවල හා අවාන් වර්ගවල නිර්මාණය හා ක්‍රියාකාරිත්වය විස්තර කරයි.
Ø ජලය මිදීම වැළැක්වීමට යොදන ක්‍රම හා ඊට හේතු පැහැදිලි කරයි.
Ø සිසිලන පද්ධතියේ අළුත්වැඩියාවන් සිදු කරයි.
මූලික න්‍යාය
එන්ජිමක බලය නිපදවනුයේ ඉන්ධන දහනය කිරීමෙනි. මෙසේ දහනයේ දී නිපදවන තාපයෙන් ප්‍රයෝජනවත් වැඩ සදහා භාවිතා වනුයේ 25% ක් පමණි. 35% ක් පිටාර වායුව සමග ද 5% ක් ඝර්ෂණය හේතුවෙන් ද ඉවත් වේ. 35% ක් පමණ සිසිලන පද්ධතිය මගින් ඉවත් කෙරේ. මෙසේ කරනුයේ ඉන්ධන දහනයේ දී එන්ජිමේ උෂ්ණත්වය පවත්වා ගැනීම සදහා ලෝහ කොටස් වලට උරා ගන්නා තාපය ඉවත් කිරීම සදහාය.මෙසේ තාපය ඉවත් නො කළහොත් එන්ජිමේ උෂ්ණත්වය ඉහළ යයි. එසේ ඉහළ යන විට ඝර්ෂණය වන කොටස් අතර තිබෙන තෙල් පටලය ඉවත් වී ඒවා ඝර්ෂණයවීමට පටන් ගනී. ඒ නිසා එන්ජිමට හානි පැමිණීමට ඉඩ ඇත.
 එසේම, ලෝහ කොටස්වල උෂ්ණත්වය වැඩිවීම නිසා පිස්ටන් වෑල්ව ආදිය ප්‍රසාරණය වී හිර වීම සිදු විය හැකිය. එසේම තෙල් පිළිස්සීමද අධික විය හැකිය. මේ නිසා එන්ජිමේ උපදින තාපයෙන් කොටසක් ඉවත් කිරීමට සිදුවේ. කෙසේ වෙතත් එන්ජිමේ තාපය අධික ලෙස ඉවත් කර ප්‍රමාණයට වඩා එන්ජිමේ උෂ්ණත්වය අඩු කිරීම ද එන්ජිමට හානිදායක ය. එසේ වුවහොත් පැට්‍රල් එන්ජිමක පැට්‍රල් හරියාකාර වාෂ්පවීමක් සිදු නොවේ. මේ නිසා එන්ජිමක තාපය කොටසක් පමණක් සිසිලන ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. එනම් එන්ජිමක් ක්‍රියා කිරීම සදහා එක්තරා උෂ්ණත්ව ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. මෙය ක්‍රියාකාරී උෂ්ණත්වය ලෙස හදුන්වයි.
තාප සංක්‍රමණ ක්‍රම  
01. සන්නයනය - Conduction
02. සංවහනය    - Convection
03. විකිරණය     - Radiation
මින් සන්නයනය යනු තාපය එක් කොටසක සිට එය සම්බන්ධ අනෙකුත් කොටස් වලට ගමන් කිරීමේ ක්‍රමයයි. එසේම, සංවහනය යනු එක් කොටසක තිබෙන තාපය වාතය මගින් ඉවත් කිරීමයි. මින් විකිරණය යනුවෙන් හදුන්වනුයේ එක් කොටසක පිහිටි තාපය පරාවර්තනය මගින් ඉවත් කිරීමේ ක්‍රමයයි. මින් 01 සහ 02 යන ක්‍රම මෝටර් රථ සදහා භාවිතා කරයි.